Yesha Fernando's profile

Janyugaya - Red Rose (Yeshage Viyamana)

ෆීලින් ට්‍රොපිකල්!
________________
ලංකාවේ අපිට එක එක කාලවලට එක එක ඉර්තු මාරු නෑ. නිවර්තන කලාපීය රටක් වුනු අපිට ඉර්තු මාරු වල වෙනස දැනෙන්නේ හුරුපුරුදු ට්‍රොපිකල් ගතිය අතරෙන් බොහොම ලාවට. බොහෝ රටවල් වල මිනිස්සුන්ට ඒ එක එක ඉර්තු වලදී එක එක උත්සව තියෙනවා. ඉර්තුවට අදාළ විලාසිතා සංදර්ශන, සැන්දෑ සාද, සැණකෙළි , සංගීත උත්සව. ඔන්න ඔහොම.
ඔය මුකුත් ඉර්තු මාරුවක් නැති අපි එක එක කාලවලට එක එක සමයං හොයාගන්නවා ප්‍රීති වෙන්න. හුඟක් වෙලාවට හදවතින්ම ට්‍රොපිකල් වෙච්චි මිනිස්සු කොටසක් වුනු අපි හැමදාම වගේ සතුටු වුනේ අනුන්ගේ දේකින් නේ. අපේම මිනිස්සුන්ගේ වචනෙන් කියනවනම් කාලයක් සුජී ගෙන් "පට්ට ආතල්" එකක් ගත්තා. ඊළඟට "වාරියපොළ නංගි", ඊළඟට "චාමර" , තවත් ප්‍රසිද්ධ ගාන්ධර්වයෙක්ගේ අතිශය පෞද්ගලික සිදුවීමක්, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අතිශය පෞද්ගලික සිදුවීමක් විදිහට අපේ මිනිස්සු නානාප්‍රකාර ආතල් ගත්තා අනුන්ට හිනාවෙලා.
ඒත් ඇත්තටම බැලුවොත් ඔය සිදුවීම් වල නොකියපු, නොදැකපු කතාව ඉතාම දුක්ඛිත එකක්. ඒත් මිනිස්සු ඒවට විවිධාකාර අර්ථ නිරූපණ දුන්නා, බඩවල් රිදෙනකම් හිනාවුනා, ඒ ඔක්කොම කරලා සමහර විට රාත්‍රියේදී එකයි බතුයි කාලා නින්දට ගියා. තමන්ට කොයිතරම් ප්‍රශ්ණ ගැටළු තිබ්බත් අනුන්ගේ ගැටළු වලදී අනුකම්පා විරහිතව හිනා වුනා. මං දන්නේ නෑ මිනිස්සුන්ගේ මේ ස්වභාවයට කියන්න ඕනේ නරුමකමද නැත්නම් මෝඩකමද කියලා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් උදේ ඉදන් රෑ වෙනකම් ජීවිතේ ගැටගහගන්න දත කන මිනිස්සුන්ට හිනාවෙන්නත් දෙයක් ඕනේ නේද කියලා. ඒත් අපි ඒ අනුන්ට කියලා හිනාවෙන්නේ අපිටම නම්?
ලෝකයේ අදටත් ශ්‍රේෂ්ඨතම ප්‍රහසන රංගධරයා ලෙස සැලකෙන Charlie Chaplin වරක් මෙහෙම කියනවා "කැඩපත යනු මගේ හොඳම මිතුරායි, මන්ද මා හඬනා විට එය කිසිදා සිනා නොවේ" ("Mirror is my best friend, because when I cry it never laughs"). අනුන්ට සිනහවම බෙදුවට ඔහු වුනත් දැනන් හිටියා මේ යථාර්ථය, මිනිස් ස්වභාවය. මේක හැම රටකම මිනිස්සු තුල අඩු වැඩි වශයෙන් තියෙන ස්වභාවයක්. ඒත් අපේ රටේ නම් ඒ තත්වේ ඕනෑවටත් වැඩියි. Charlie Chaplin ගේ ප්‍රහසන වුනත් නිසි අර්ථයෙන් ගත්තොත් එවායේදීත් අපි හිනා වෙන්නේ අපිටමයි.
රටේ පාලකයෝ දෙපිල බෙදිලා පාර්ලිමේන්තුවේදී සත්තුන්ගේ නම් ටික අමතනකොට අපි TV එකෙන් බලන් උඩ පැන පැන හිනාවෙනවා. කාටද ? ඔවුන්ටද? නෑ නේද ? අපිටමයි නේද අපි ඒ හිනාවෙන්නේ? ඔවුන්ව රටේ ප්‍රධාන පාලන පද්ධතිය වෙත අනුයුක්ත කරපු අපේම මෝඩකමට නෙමෙයිද අපි ඒ හිනාවෙන්නේ. ඔව් අපි හැමදාම අනුන්ට කියලා හිනාවෙන්නේ අපිටමයි. අනුන්ට හිනා වෙන එකේ අපිට බැරිද අනුන්ව අඬවන්න. අපෝ පුළුවන් බොහොම ලේසියෙන්. මං කියනවා ඔබට ඔව් අඬවන්න ඔවුන්ව.
නෑ ඔබ වගේම අසරණ, අහිංසක මිනිස්සුන්ව නෙමේ. පරම්පරාවල් වලට හම්බකරන්න බලන්, අතුරු පාරේ කොන්ක්‍රීට් අතුරන ටෙන්ඩරෙනුත් ගසා කන්න බලන්, පන්සල්, පල්ලි, කෝවිල්, බෝක්කු, බස්, හෝල්ට් හැම තැනකම මේ දවස් වල බලියන් ඉන්න හොරු රැල අඬවන්න. කව්රු කිව්වත් අපරාදේ ඡන්දේ, ඡන්දේ පාවිච්චි කරන්න කියලා ඔබේ හිතට එකඟ නැතිනම් ඡන්දේ පාවිච්චි නොකර ඉන්න. මෙච්චරකල් අහිංසකයින්ට හිනාවුණු එකේ, මේ පාර මේ මිනී කොන්ත්‍රාත් කාරයින්ව අඬවලා හිනා වෙන්න.
හිනාව රිද්දන්න පාවිච්චි කරනවානම්, ඒ රිදවීම වෙනුවෙන් සුදුසුම පුද්ගලයින්ව විතරක් හිනාවෙන් රිද්දන්න.
ජය!
_____________________යේෂාගේ වියමන - ජනයුගය, රතුරෝස (21-01-2017)
Janyugaya - Red Rose (Yeshage Viyamana)
Published:

Janyugaya - Red Rose (Yeshage Viyamana)

Published:

Creative Fields